Wednesday, August 30, 2017

දෙදරාන ගිය කැණිමඬල යට
ටිකින් ටික මිය ඇදුනු හීනේ
හඬ හඬා හිත හොවා ගැඹුරට
ලැබුනු රිදවුම් පෙනෙන මානේ
අතීතෙට ඩිංගක් දුරින් නුඹ
නමින් පීදුනු කුසුම් යායේ
අදින් මතුවට ප්‍රේමයේ සත්
පියුම් නොපිපෙනු ඇතිය ආයේ....

බෝ මළුව යට දිවි පුදන්නට
හිතින් පතනා මලක් ගානේ
දකිමි හඳුනමි සදාකාලික
මල් නොපිපි වග මෙතෙක් ලෝකේ
ලිහා තබමින බැඳීමක බර
බැඳුනු දම්වැල් දවමි සෑයේ
දරා සිවුරක් මිදී යන්නේ
හැරෙන්නට නම් නොවෙයි ආයේ.....
වෛරයක සලකුනක් වත් යළි
නොම තබා මේ දෙනෙත මානේ
යශෝදර ප්‍රේමයක අභිමන
දරාගෙන ගිනි නිවුනු දෑසේ
නික්ම යමි හද දොර අගුලු ලා
ලියා කෙලවර ප්‍රේම ගීයේ
දෙපා පාමුල වැටී හැපි හැපි
හඬන්නට නම් එපා ආයේ..........
෴සම්මානි ආවර්ජනා දිසානායක෴

No comments:

Post a Comment