ප්‍රේමය හමුවේ අසධාරනයට ලක් වූ දහසකුත් එකක් ලඳුන් වෙනුවෙන් ලියා තබමි.එදා කුවේණිය.. අද???
හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ......
____________________________________________
ලක්දිවට නුඹ නොආ යුගයක යෙහෙන් මා මෙහි වැජඹුනා
යක්ෂ පරපුර වුවද මේ බිම උන්ගෙ රැජිනව හිනැහුනා
නුඹෙ නමට පෙම් බැන්ද දා සිට නොදැන වුව මට වැරදුනා
මගේ හිමිකම දරාගෙන නුඹ මගේ දේශයෙ රජවුනා
දෙවුලියක වන් කුමරියක ළඟ නුඹට මා අමතක වුනා
වාසලින් නික්මියයුතුයි රජ අණසකට මා යටවුනා
නෑසියන් වුව අහිමි වූ දා යනෙන මං අමතක වුනා
අනේ හිම්යනි දෙදරුවන් ලඟ දෙනෙත උතුරන්නට වුනා
යක්ෂ පරපුර පවා බිලි දී නුඹට සිහසුන පුද දුනී
සැතපෙනා නුඹ, යහන් ගැබ වුව මා අතින් මල් ගැන්වුණී
පතාගෙන ආ පෙමක් ලෙස නුඹෙ සුරත මත මා නැළවුණී
මගේ උරුමෙන් දැරූ සිහසුන, නුඹේ මතකෙන් ගිලිහුණී
සඳ මඩුලු යට ප්‍රේම සක්මන් සිතට අමතක වුනාදෝ
නෙත් අගට දුන් නෙත් අඳුන් වුව නෙත් අගින් ගිලිහුණාදෝ
පා මතින් එලු පේම පාවඩ චන්ඩ සුළඟේ ගියාදෝ
නුඹේ රැජිනිය කුවේණිය මා හදවතේ පරවුණාදෝ
අනේ අසරණ දෙදරුවන් වැළපෙනා හැටි නොම පෙනේදෝ
මා නැතත් නුඹෙ හදවතේ අග උන්ටවත් ඉඩ නොවේදෝ
යකින්නකගේ විලාපය නුඹෙ රාජ සවනත වැකේදෝ
හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ
යන්නට තැනක් වත් රජුනේ නොම දනිමි
නැ සියවරු පවා විරසක බව දනිමි
මරණය පෙනි පෙනී නුඹටම පෙම් කළෙමි
පෙමක මහිම , අවසන මා තනි වුනෙමී
ගෙලේ රැඳුන පෙම් දම් ගලවා දමමී
ලතෝනිය ගලට හඬගා දුක කියමී
මතු භවයක වුවත් නුඹෙ පෙම නොම පතමී
නුඹ නමටම පිදූ පතිවත රැක මියෙමි.........
-සමූ-