Monday, November 6, 2017

ඉරට දොස් කියා කියා
හිමිදිරියෙ ඇස් අරින
කැලෑ මල් බොල් හුළඟ
සමඟ උරණව නටන
පොලව මත හිස ගසා
වැළපි වැළපී ගලන
මේ කඳුළු උදුරගෙන
යමං මහවැලි හෙවන...

පිළුණු මේකුළු අගින් 
වැටෙන විට මල් තුහින
තුරු සිරස් අඬන්නෙම
පතා උණුසුම් කිරණ
ගෝනි නුලක් අරන් 
පැලුණු හදවත මහන
හන්තාන සැතපියන්
නොදැක පෙම්බර සිහින....

ලිලී මල් දෙක තුනක්
අකාලේ පෙති හැලුන
සුවඳ මත මදහසක් 
තබා මුනිවත රකින
කටු ඇනෙන හීතලේ
හිතට පිහියෙන් අනින
ඉතින් මිය යා යුතුය
ප්‍රේමයේ සිහිවටන.......

-සමූ-