Saturday, March 25, 2017

ප්‍රේමය හමුවේ අසධාරනයට ලක් වූ දහසකුත් එකක් ලඳුන් වෙනුවෙන් ලියා තබමි.එදා කුවේණිය.. අද???


හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ......

____________________________________________




ලක්දිවට නුඹ නොආ යුගයක යෙහෙන් මා මෙහි වැජඹුනා
යක්ෂ පරපුර වුවද මේ බිම උන්ගෙ රැජිනව හිනැහුනා
නුඹෙ නමට පෙම් බැන්ද දා සිට නොදැන වුව මට වැරදුනා
මගේ හිමිකම දරාගෙන නුඹ මගේ දේශයෙ රජවුනා

දෙවුලියක වන් කුමරියක ළඟ නුඹට මා අමතක වුනා
වාසලින් නික්මියයුතුයි රජ අණසකට මා යටවුනා
නෑසියන් වුව අහිමි වූ දා යනෙන මං අමතක වුනා
අනේ හිම්යනි දෙදරුවන් ලඟ දෙනෙත උතුරන්නට වුනා

යක්ෂ පරපුර පවා බිලි දී නුඹට සිහසුන පුද දුනී
සැතපෙනා නුඹ, යහන් ගැබ වුව මා අතින් මල් ගැන්වුණී
පතාගෙන ආ පෙමක් ලෙස නුඹෙ සුරත මත මා නැළවුණී
මගේ උරුමෙන් දැරූ සිහසුන, නුඹේ මතකෙන් ගිලිහුණී

සඳ මඩුලු යට ප්‍රේම සක්මන් සිතට අමතක වුනාදෝ
නෙත් අගට දුන් නෙත් අඳුන් වුව නෙත් අගින් ගිලිහුණාදෝ
පා මතින් එලු පේම පාවඩ චන්ඩ සුළඟේ ගියාදෝ
නුඹේ රැජිනිය කුවේණිය මා හදවතේ පරවුණාදෝ

අනේ අසරණ දෙදරුවන් වැළපෙනා හැටි නොම පෙනේදෝ
මා නැතත් නුඹෙ හදවතේ අග උන්ටවත් ඉඩ නොවේදෝ
යකින්නකගේ විලාපය නුඹෙ රාජ සවනත වැකේදෝ
හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ

යන්නට තැනක් වත් රජුනේ නොම දනිමි
නැ සියවරු පවා විරසක බව දනිමි
මරණය පෙනි පෙනී නුඹටම පෙම් කළෙමි
පෙමක මහිම , අවසන මා තනි වුනෙමී

ගෙලේ රැඳුන පෙම් දම් ගලවා දමමී
ලතෝනිය ගලට හඬගා දුක කියමී
මතු භවයක වුවත් නුඹෙ පෙම නොම පතමී
නුඹ නමටම පිදූ පතිවත රැක මියෙමි.........

                                    -සමූ-



Sunday, March 12, 2017

අම්මා... ඒ ඕනෑම කෙනෙක්ගෙ ජීවිතයේ උත්තරීතර චරිතය...ඔබේ මව, මගේ මව, එය සෑම මවකටම පොදුයි.. මගේ ජීවිතයේ ඇය මගේ අසහාය චරිතය.මගේ ජීවිතය සම්බන්ධයෙන් ඇය හීන දෙකක් දකිනව..
එකක් මා සරසවි වරම් ලබනව දැකීම.එය මා දැනටමත් සැබෑවක් කොට හමාරයි.ඇගේ අනෙක් සිහිනය මා අතින් අතිශය අර්ථවත් කවි නිර්මාණයක් බිහි වෙනවා දැකීම..එය මේ වන තුරු හැබෑ කරන්නට මට ඉඩක් ලැබී නෑ.නමුත් යම් තාක් දුරකට මගේ නිර්මණ තව කෙනෙක්ට දැනෙනව කියල හිතනව මට ලැබෙන   ප්‍රතිචර වලින්.. මගේ පන්හිඳට සවියක් වීම සම්බන්ධයෙන් ඔබට හිස නමා ආචාර කරනව...ඉතින් මේ ඇය වෙනුවෙන්..මගේ ජීවිතයේ සදාතනික හිමිකාරිය වෙනුවෙන්......

ඇය අම්මා නම් විය...
_____________________________________

විටෙක හිරු තෙද දරා දිලුණිය
විටෙක ගිගුරුම් අකුණු පිපුණිය
මුලාවූ ඇස් මතින් පීදුන 
විසල් අහසේ දේදුනු..
මං මුලා වූ ලොවක පිළිවෙත 
හිතින් උහුලා පිං පිරූ..
නුඹයි අම්මේ මහාමායා
අසෙනි වැසි නොසැලී දැරූ


දොවා සඳ දිය මලින් ඔපකළ
තැනූ මාවත් බිඳී ගිය දා
හිස ඔටුනු සේ දරා දරුපෙම
ගැටෙන කටු තුඩු වලට ඉහලින්
ප්‍රේමයේ පාවඩ එලූ
නුඹයි අම්මේ මහාමායා
කඳුලු දිය දෝතින් දෙවූ


නිහඬ ගොම්මං අහස ගුගුරා
අනෝරා වැහි ඇද වැටුනු දා
හොවා තුරුලේ, පොවා උණුහුම
නිවා තුන් හිත 'මගෙ පුතේ නුඹ'
දිනෙක රජ වීයන් පැතූ
නුඹයි අම්මේ මහාමායා
ප්‍රේමයට පදරුත් මැවූ.......


             -සමූ-


                     




Tuesday, February 21, 2017

                          අභිනික්මන් කළ සිදුහත් දැක දැක වැළපෙමි...........

 

 පුරා වැහි අහස දෙදරා
අකුණු කොටන හැටි
ගොම්මං කළුවර සිත ලඟ
ඉකිලනවා නිති
හොරු ඇවිදින් සඳ අහසින්
රැගෙන ගියා වැනි
ලොවක් එලිය කළ යුග නෙතු
වෙනතක හැරවුනි.......
දළදා මළුවේ තාමත්
නෙළුම් සුවඳ රැඳි
පා සටහන් නුඹේ මගේ
වැලපෙනවා ඇති
පින් බිම මත කළ පින් වත්
පිහිට නොවූ හැටි
හද ඇඳි රුව බොඳව ගියා
දළදා හිමියනි........
ඉසුරුමුණි යුවල තාමත්
සිනා සලනු ඇති
නෙලූ ගල් කුළින් වුව පෙම
ගලා හැලෙන හැටි
අමරණීය පෙම් පුවතට
කඳුළැල් මුහුවුනි
අභිනික්මන් කළ සිදුහත්
දැක  දැක  වැළපෙමි.......


 -සමූ-




Thursday, February 9, 2017

නිදිවරාන රෑ පුරාම අකුරු ඇහින්දට
හිත තිබුණේ නුඹෙ උණුහුම ලඟ නිදියන්නට
නෙත පියවී කඳුළු පිරී වෙහෙස දැනෙනවිට
නුඹ විඳිනා දුක සිහිවී ඉකිගැහුනා මට
වෙහෙස දැනෙන නුඹේ ගතට ගිමන් නිවන්නට
නුඹෙ දහඩිය ලේ කිරිවල ණය පියවන්නට
රැජිනියනේ නුඹේ හිසට කිරුළු අරන් හෙට
නුඹ බලන්න ඉගිලී මං එන්නම් හනිකට.....


                                     -පොඩ්ඩී-

Thursday, January 26, 2017

සඳටත් එපිටින් ගගනත සරනා දිලෙන නිවෙන තරුවක               ඇරයුම්
හීනි නෙත් සරින් ඉවත හෙලන්නෙමි යලිත් එපා මට රුවැති            උවම්
කඳුළු වැළපෙනා අඳුරු රාත්‍රිය තබා ලමැද තනිකමම                         දරම්
සඳක් දකින්නට වරම් පතන්නෙමි,   අහස් ගවුව නෙත සිඹින           තරම්


                                                                     ~  සමූ~

Wednesday, January 25, 2017

සිනා පිරුනු මුව මඬලේ හිත නැවතුනු හින්දා
මට නොදැනිම ඔබේ නෙතට පෙම් කළාද මන්දා
ඔබ දකින්න මගෙ දෙනුවන් පෙරුම් පුරන හින්දා
මගෙ අදරෙ මහ මෙරටත් වැඩි වුනාද මන්දා


ආයෙත් මට පෙම් කරන්න කියාදුන්නු හින්දා
මගෙ සිනහව මගේ ලඟට ගෙනත් ඩුන්නු හින්දා
කවදාවත් දාල යන්න මට බැරි වෙන හින්දා
මගෙ ආදරෙ මහමෙරටත් වැඩි වුනාද මන්දා...
       
                                         ~ පොඩ්ඩී~

Monday, January 23, 2017

සරසවි සිසු විරෝධතාවයට පසු වදනක්......
_______________________________
හාත්පස වසා දුම් රොටු නැගෙනකොට
ගලනා රතු කඳුළු දුටුවෙමි නෙත් අගට
මතු පරපුරක උරුමය ගෙන අත් දෙකට
තව දිරි ලැබීයන් කෑමොර දෙන නුඹට
යදමින් බැඳි විලංගුව දෙක සිඳෙනකොට
එක පිට එක සටන් කවි පද බැඳෙනකොට
නුඹ වන් පුතුන් ලේ කඳුලැල් හලනකොට
පුදසුන මතට වී මියැදිය හැකිද මට
දිවිමග දූලි රළු බොරලුත් හුරු අපට
සවි බිඳලිය හැකිද රළු ජල පහරකට
බැස නුඹෙ පා පහස ලද මේ මහ මගට
පයකට ගැටී මිය යන එක සැපයි මට......
(මහ පාර මැද අතරමං වුන අරලිය මලට මෙහෙම හිතෙනව ඇති...)
 ... සමූ...