Wednesday, August 30, 2017

දෙදරාන ගිය කැණිමඬල යට
ටිකින් ටික මිය ඇදුනු හීනේ
හඬ හඬා හිත හොවා ගැඹුරට
ලැබුනු රිදවුම් පෙනෙන මානේ
අතීතෙට ඩිංගක් දුරින් නුඹ
නමින් පීදුනු කුසුම් යායේ
අදින් මතුවට ප්‍රේමයේ සත්
පියුම් නොපිපෙනු ඇතිය ආයේ....

බෝ මළුව යට දිවි පුදන්නට
හිතින් පතනා මලක් ගානේ
දකිමි හඳුනමි සදාකාලික
මල් නොපිපි වග මෙතෙක් ලෝකේ
ලිහා තබමින බැඳීමක බර
බැඳුනු දම්වැල් දවමි සෑයේ
දරා සිවුරක් මිදී යන්නේ
හැරෙන්නට නම් නොවෙයි ආයේ.....
වෛරයක සලකුනක් වත් යළි
නොම තබා මේ දෙනෙත මානේ
යශෝදර ප්‍රේමයක අභිමන
දරාගෙන ගිනි නිවුනු දෑසේ
නික්ම යමි හද දොර අගුලු ලා
ලියා කෙලවර ප්‍රේම ගීයේ
දෙපා පාමුල වැටී හැපි හැපි
හඬන්නට නම් එපා ආයේ..........
෴සම්මානි ආවර්ජනා දිසානායක෴

Sunday, June 25, 2017


දිළෙන නිවීයන දහසක් තරු මැද
සදා නොමැකෙන තරු එළිය
පෙරදාක දුටු මුහුන අදනම්
එදාටත් වැඩි පිංබරය
දහසකුත් පෙම්වතුන්ට වැඩියෙන්
හිත නුඹේ ඔය පෙම්බරය
තාත්තේ නුඹෙ සෙවන ළඟ මං
තාම හුරතල් ලොකු දුවය

දහස් කඳුලැල් ගලා යද්දී
නුඹේ සවියෙන් දිවි දිනුව
ප්‍රේමයට පදරුත් තිබේ නම්
හැඳිනගත්තෙමි එහි නුඹව
අරමුණක් නැති ගෙවෙන දිවියේ
නුඹම විය පෙම්බර තනුව
දරා කිරුළක් මතු දිනේ මගෙ
ලොවේ සක්විති රජ වනුව.....

                -
සමූ-




Thursday, June 8, 2017

හීන කැටිවුණු නෙත් අග
ශේෂවී ගිය ප්‍රේමය
පෙළින් පෙළ පද ගැලපුන
ජීවිතේ කවියක් විය...
සුසුම් හුරු නැති හදවත
දියෙන් කඳුළින් සේදුව
අකුරු එක දෙක ගිලිහුණ
ආදරේ කවියක්මද???
වරෙක බඹරුන් මත්කළ
නෙළුම් මල් සතු වත්කම
දේවදුණු මත රැඳුනු පැහැ නොව
ලොවක් කැළඹූ සුවඳය...
බඹර තුඩගින් රිද්දුන
චන්ඩ සුළඟට නොසැලුන
ඉරිතලා ගිය හිතක් තිබුණත්
නෙළුම් මල් සුවඳයි තව.......
..සම්මානි ආවර්ජනා දිසානායක..

Wednesday, April 19, 2017

නුබත් මාත් අන්ත දෙකකට ඇද දැමූ දෛවයටම දොස් පවරනවා හැර කුමක් නම් කරමිද??
_______________________________________________________________________




කඩා අන්දර පොකුරු පා කෙරූ                    ගංදියේ
මින් පැටවු අල්ලාන දඟ කෙරූ                     සංදියේ
එදා සෙවනැලි තවම හංගාන                        ගංදියේ
අතීතය ගිලිහුණා කල් වැඩිද                        නංගියේ

ලුහුබඳින්නට හීන් නොමැති වූ                        කාලයේ
වරා මල් උඩු හුලඟෙ පා කෙරූ                       තාලයේ
එක අත්තෙ පිපුණු මල්  කොහෙද නටු හැර           ගියේ
ගං දෑල තාම අප හොයනවා                           නංගියේ

එදා සුළඟමය තව සිරස සිඹ                       හමනුයේ
තවම අප වගේ උන් ඒ සිසිල                      විඳිනුයේ
නුඹට මා, මටද නුඹ දුරස් වූ                          හීනයේ
කොතැනකද නුඹට මට වැරදුනේ             නැගණියේ
-
සමූ-


Saturday, March 25, 2017

ප්‍රේමය හමුවේ අසධාරනයට ලක් වූ දහසකුත් එකක් ලඳුන් වෙනුවෙන් ලියා තබමි.එදා කුවේණිය.. අද???


හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ......

____________________________________________




ලක්දිවට නුඹ නොආ යුගයක යෙහෙන් මා මෙහි වැජඹුනා
යක්ෂ පරපුර වුවද මේ බිම උන්ගෙ රැජිනව හිනැහුනා
නුඹෙ නමට පෙම් බැන්ද දා සිට නොදැන වුව මට වැරදුනා
මගේ හිමිකම දරාගෙන නුඹ මගේ දේශයෙ රජවුනා

දෙවුලියක වන් කුමරියක ළඟ නුඹට මා අමතක වුනා
වාසලින් නික්මියයුතුයි රජ අණසකට මා යටවුනා
නෑසියන් වුව අහිමි වූ දා යනෙන මං අමතක වුනා
අනේ හිම්යනි දෙදරුවන් ලඟ දෙනෙත උතුරන්නට වුනා

යක්ෂ පරපුර පවා බිලි දී නුඹට සිහසුන පුද දුනී
සැතපෙනා නුඹ, යහන් ගැබ වුව මා අතින් මල් ගැන්වුණී
පතාගෙන ආ පෙමක් ලෙස නුඹෙ සුරත මත මා නැළවුණී
මගේ උරුමෙන් දැරූ සිහසුන, නුඹේ මතකෙන් ගිලිහුණී

සඳ මඩුලු යට ප්‍රේම සක්මන් සිතට අමතක වුනාදෝ
නෙත් අගට දුන් නෙත් අඳුන් වුව නෙත් අගින් ගිලිහුණාදෝ
පා මතින් එලු පේම පාවඩ චන්ඩ සුළඟේ ගියාදෝ
නුඹේ රැජිනිය කුවේණිය මා හදවතේ පරවුණාදෝ

අනේ අසරණ දෙදරුවන් වැළපෙනා හැටි නොම පෙනේදෝ
මා නැතත් නුඹෙ හදවතේ අග උන්ටවත් ඉඩ නොවේදෝ
යකින්නකගේ විලාපය නුඹෙ රාජ සවනත වැකේදෝ
හෙලා මා ගිනි ගත්ත සයුරක ඉතින් නුඹ සැනසුනේදෝ

යන්නට තැනක් වත් රජුනේ නොම දනිමි
නැ සියවරු පවා විරසක බව දනිමි
මරණය පෙනි පෙනී නුඹටම පෙම් කළෙමි
පෙමක මහිම , අවසන මා තනි වුනෙමී

ගෙලේ රැඳුන පෙම් දම් ගලවා දමමී
ලතෝනිය ගලට හඬගා දුක කියමී
මතු භවයක වුවත් නුඹෙ පෙම නොම පතමී
නුඹ නමටම පිදූ පතිවත රැක මියෙමි.........

                                    -සමූ-



Sunday, March 12, 2017

අම්මා... ඒ ඕනෑම කෙනෙක්ගෙ ජීවිතයේ උත්තරීතර චරිතය...ඔබේ මව, මගේ මව, එය සෑම මවකටම පොදුයි.. මගේ ජීවිතයේ ඇය මගේ අසහාය චරිතය.මගේ ජීවිතය සම්බන්ධයෙන් ඇය හීන දෙකක් දකිනව..
එකක් මා සරසවි වරම් ලබනව දැකීම.එය මා දැනටමත් සැබෑවක් කොට හමාරයි.ඇගේ අනෙක් සිහිනය මා අතින් අතිශය අර්ථවත් කවි නිර්මාණයක් බිහි වෙනවා දැකීම..එය මේ වන තුරු හැබෑ කරන්නට මට ඉඩක් ලැබී නෑ.නමුත් යම් තාක් දුරකට මගේ නිර්මණ තව කෙනෙක්ට දැනෙනව කියල හිතනව මට ලැබෙන   ප්‍රතිචර වලින්.. මගේ පන්හිඳට සවියක් වීම සම්බන්ධයෙන් ඔබට හිස නමා ආචාර කරනව...ඉතින් මේ ඇය වෙනුවෙන්..මගේ ජීවිතයේ සදාතනික හිමිකාරිය වෙනුවෙන්......

ඇය අම්මා නම් විය...
_____________________________________

විටෙක හිරු තෙද දරා දිලුණිය
විටෙක ගිගුරුම් අකුණු පිපුණිය
මුලාවූ ඇස් මතින් පීදුන 
විසල් අහසේ දේදුනු..
මං මුලා වූ ලොවක පිළිවෙත 
හිතින් උහුලා පිං පිරූ..
නුඹයි අම්මේ මහාමායා
අසෙනි වැසි නොසැලී දැරූ


දොවා සඳ දිය මලින් ඔපකළ
තැනූ මාවත් බිඳී ගිය දා
හිස ඔටුනු සේ දරා දරුපෙම
ගැටෙන කටු තුඩු වලට ඉහලින්
ප්‍රේමයේ පාවඩ එලූ
නුඹයි අම්මේ මහාමායා
කඳුලු දිය දෝතින් දෙවූ


නිහඬ ගොම්මං අහස ගුගුරා
අනෝරා වැහි ඇද වැටුනු දා
හොවා තුරුලේ, පොවා උණුහුම
නිවා තුන් හිත 'මගෙ පුතේ නුඹ'
දිනෙක රජ වීයන් පැතූ
නුඹයි අම්මේ මහාමායා
ප්‍රේමයට පදරුත් මැවූ.......


             -සමූ-


                     




Tuesday, February 21, 2017

                          අභිනික්මන් කළ සිදුහත් දැක දැක වැළපෙමි...........

 

 පුරා වැහි අහස දෙදරා
අකුණු කොටන හැටි
ගොම්මං කළුවර සිත ලඟ
ඉකිලනවා නිති
හොරු ඇවිදින් සඳ අහසින්
රැගෙන ගියා වැනි
ලොවක් එලිය කළ යුග නෙතු
වෙනතක හැරවුනි.......
දළදා මළුවේ තාමත්
නෙළුම් සුවඳ රැඳි
පා සටහන් නුඹේ මගේ
වැලපෙනවා ඇති
පින් බිම මත කළ පින් වත්
පිහිට නොවූ හැටි
හද ඇඳි රුව බොඳව ගියා
දළදා හිමියනි........
ඉසුරුමුණි යුවල තාමත්
සිනා සලනු ඇති
නෙලූ ගල් කුළින් වුව පෙම
ගලා හැලෙන හැටි
අමරණීය පෙම් පුවතට
කඳුළැල් මුහුවුනි
අභිනික්මන් කළ සිදුහත්
දැක  දැක  වැළපෙමි.......


 -සමූ-